දෙවියනි.... ඔබ කොතැනකද? ඔබ එසේ අසද්දී මේ අහස පොළොව අතර මම දෙවියන් දකිමි. මට කියන්න... ඔබ අදහන ඔබ විශ්වාස කරන දෙවියන් කවුද? මම විශ්වාස කරන දෙවියන් මම ආදරය කරන දෙවියන් මට මුණගැසුණු දෙවියන් ගැන ඔබ අසන්න. කුමරිය ඉන් එහා ලෝකයේ ඇස ගැසෙන තැනක හෝ අනන්තෙක කොහේ කොතැනක හෝ දෙවියන් ඇතැයි විශ්වාස නොකරන්න. දෙවියන් සොයමින් මංමුලා නොවන්න. මා දකින දෙවියන් මේ ස්වභාවධර්මයයි. නිල්වන් අසීමාන්තික අහස මම අකුරෙන් අකුර කියවමි. මෘදු, රුදුරු සිසිලසේ එළිසමය නැති මහා කවිය වැස්සයි. කොහේ කොතැනක සිට එන්නේද කොහේ කොතැනකට යන්නේද නොදන්නා කිරිල්ලිය සුළඟයි. පොහොට්ටුව කුසුමක් සේ මල්වර වූ මොහොතේ පටන් හැම සමනල - බඹර තුඩකටම රිසි රිසි සේ රොන් පුදමින් සියුමැලි ස්පර්ශයේ පහසේ සතපන නෙක කුසුමන් වෙසඟනන් මිස අන් කවුරුන්ද? සීතල මැදියමේ ඇස් වසන තාරුකා විහිදුවන නිල් එළිය, දියවර දහරාවෝ රන් රිදී පැහැසරින් දිදුලවන සෞම්‍ය සඳ එළිය ඒ සඳ එළිය දිගේ පැමිණ මහා පොළොවේ නවතින පිනි බින්දු මේ සියල්ල දෙවියන්ම මිස අන් කවරක්ද? දෙවියන්ගේ අනුහස මිස අන් කවරක්ද? දෙවියන්ගේ විස්මය හා ආශ්චර්ය මිස අන් කවරක්ද? දෙවියන් නොවේ ලොව අන් තැනක.. මේ සොබාදම මිසක..
කෙලෙස අදහා ගනිම්දෝ
දෙවොල ඇතුළේ
පහන් සොරකම්
කරන බව දෙවියන්
දේවතා එළියෙන්
සරසවිය නම් දෙවොල ඇතුළේ ප්‍රඥාවේ පහන් නිවන.. අන්ධකාරයේ පැමිණ දේවතා එළි දල්වමින් දැල්වෙන පහන් සොරකම් කරන ඒ දෙවියන් කවුද?
බැතින් දැල්වූ පහන් දේවතා එළිය නම් අනුහසින් රහසේම සොරකම් කර අඳුරු මාවත්හි අතරමං කර හරින දෙවියන් - දෙවියන් වන්නේ කෙලෙසද? දෙවොලක් ඇතුළේ දල්වන පහන දෙවියන් වෙනුවෙනි. දෙවියන් ගැන භක්තිය විශ්වාසය ගෞරවය වෙනුවෙනි. හදවත ලියලන ප්‍රාර්ථනා වෙනුවෙනි. දෙවියන් නමින් දැල්වෙන පහන් දේවතා එළිය නම් දෙවියන් සතු මහා බලසෙන් පෙන්වා දෙවියන් විසින්ම සොරකම් කරයිනම්...
මිනිස් හැඟීම් සුසියුම් ලෙස ස්පර්ශ කරමින් ලෝකයේ ලෝකාන්තයට එබෙමින් අරුත් පසිඳින සඳ දෙවියන් නම් කවුරුන්දැයි මම යළිත් ඔබෙන් විමසමි.
ගුරු සිත නොරිදවා
වේලාව නොවරදවා
බැති පෙම් උපදවා
අකුරු උගනී කුමරු සොඳවා
පමා නොවී එමි අකුරට මෙයින් මතු... එදා තක්සලාවේ දිසාපාමොක් ඇදුරු බැතින් අකුරු කළ මහා ශිෂ්‍ය රත්නයට තුටු පඬුරු කොට දුන්නේ තම දියණියයි. ඒ කොන්දේසි විරහිත අසාධාරණ ගිවිසුම නිසා නොවේද මනමේ කුමරිය මනමේ කුමරුන්ගේ කුමාර ප්‍රේමයට පයින් ගසා පිරිමිකමේ ශක්තියෙන් දිලිසුණු වැදි රජුට පෙම් කළේ... බ්‍රාහ්මණ පිරිමි චින්තනය ඉහළට එසවී ඒකාධිපති පුරැෂ සංකල්ප සාර සුබාවට වැවුණු සමාජය නම් මහ පොළොවේ ප්‍රකෘතිය යටපත් කොට ගැසූ විකෘතියක ගල් කණු සොලවන්නට අරගල කළ ගැහැනු චින්තනය වෙනුවෙන් මහා සාක්ෂියක් නොවේද මනමේ කුමරිය.. මනමේ කුමරිය පැතූ පිරිමිකම දන්නේ ඇය පමණි. ඇය මනමේ කුමරුගේ අනාගත පාද පරිචාරිකාව වූයේ දිසාපාමොක් ඇදුරුන්ගේ සාම්ප්‍රදායික ගුරු සිරිත නිසා මිස මනමේ කුමරුන් කෙරේ බැඳී ගිය ප්‍රේමයකින් නොවිය හැක. සාර සසාර සියලු කුමාර සැප භුක්ති විඳිමින් හැදුණු කුමාරවරු රජකම් උදෙසා විවරණ ලැබුවත් උන්ගේ සුකුමාර පිරිමි සිරුරුවලට වඩා වනයේ ගහ කොළ මහා පොළොව සමඟ අරගල කරමින් සද්දන්ත වෙසින් වැඩුණු වැදි රජුගේ සද්දන්ත පිරිමිකමට මනමේ කුමරිය පෙම් කළේනම් ඒ ඈ අවනත වූයේ සොබාදහමේ සාධාරණ නියතයකටය. ඈ සිත ප්‍රේමයෙන් හිරිවැටුණේ මනමේ කුමරුන් අබිමුව නොව වැදි රජු අස නම් ඈ වරදකාරියක වෙන්නේ කෙසේද? ඇය සාධාරණ ගැහැනියක නොව චපල ගැහැනියක ලෙස අර්ථකථනය කරන්නේනම් අන් අඹුවකට පෙම් බැඳ ඈ තම ප්‍රේමයෙන් වසඟයට ගන්නට තැත් දැරෑ වැදි රජු නිවැරදිකරුවකු වන්නේ කවර න්‍යාය ධර්මයක් අනුවද? එදා ගුරු සම්ප්රදාය හමුවේ ප්‍රේමය නිසාවෙන් නොව සම්ප්රදාය රකින්නට ලද අණක් නිසාවෙන් කුමරි බඹසර දන් දෙන්නට එකඟ වූ මනමේ කුමාරිලාට අද සරසවියේ හොඳම සිසුවිය ලෙස ඔටුණු පලඳා විවරණ ලබනු වස් ඇදුරන් හමුවේ කුමරි බඹසර දන්දෙන්නට සිදුවීමේ යථාර්ථවාදී සමාජ ඛේදවාචකය ගීයකට නිමිත්තක් වූ හැටි කදිමය.
දිසාපාමොක් ඇදුරුතුමනේ
තක්සලාවෙන් යන්න අවසර
හොඳම සිසුවිය නොවී මඟහැර
රැගෙන යන්නම් කුමරි බඹසර..
ඈ පයින් ගසන්නේ එක්තරා ගුරුකුලයකටය. සරසවි සම්ප්රදායකටය. ස්ත්‍රී සිරුර වරප්‍රසාද උදෙසා පූජා භාණ්ඩයක් වූ සමාජයක කෙරුම්කාර පිරිමිකමටය. වරෙක සරසවියේ හොඳම ශිෂ්‍යා තෝරන නිර්ණායකය ශාස්ත්රයේ නිපුණත්වය නොව නාරි සිරැරේ රසාත්මක ප්රතිශතයනම්, ඕනෑම සයනයක් මත ඕනෑම පිරිමි හුස්මකට ඉඩදීමේ හැකියාවේ නිපුණතාවයනම් සරසවිය ඥානයේත් ධර්මයේත් පහන් දැල්වෙන කෙම්බිමක් වනු කෙලෙසද? මේ දිග හරින්නේ ඒ ඛේදවාචකයයි. කන්‍යාභාවය හා සුදු ඇතිරිල්ල අදටත් ඉල්ලා හිඳින ගතානුගතික සමාජයක සරසවි ඔටුන්නකට වඩා කුමරි බඹසර අනගි බවට කියන මනමේ කුමරියක අපට මේ ගීතයේදී හමුවේ.
පුරා සූ සැට කලා භූෂණ
රන් පදක්කම් දිනා ගෙල පළඳන්
උපාධියෙ කළු කබායෙන්
කෙසේ සඟවම්
රතු පලස් මත
තිබෙන කඩතොළු තැන්
ගීත රචකයා මේ කියන රතු පලස ඇගේ කන්‍යාභාවය හා ඇගේ ජීවිත මාවතයැයි මට සිතේ. සරසවි කෙම්බිමේදී කුමරි බඹසර පූජාවක් කර දිනාගන්නා සියල්ල උදෙසා සංකේතයක් වැන්න උපාධියේ කළු කබාය. එහෙත් ජීවිතේ එක් මාවතක ජයග්‍රහණයේ ධජ නංවන්නට වින්දනය හා වරප්‍රසාද පිණිස දන් දුන් දෑ අයිතියේ භුක්තිය පිණිස පිරිමි සිරුරකට සහ පිරිමි හදවතකට නතු වන දා පවිත්රත්වය වෙනුවෙන් ඔහු ඇතුළු සනුහරයම ඉල්ලන වත්කමක් බවට පත්වෙද්දී අතීතයක කඩතොළු එදා ලද ඒ කබායේ පැහැසරින් වසාලනු කෙලෙසද?
උපදවා බැති පෙම් හැඟුම්
නොරිදවා ගුරු සිත අකුරු කරමින්
කෙලෙස අදහා ගනිම්දෝ
දෙවොල ඇතුළේ
පහන් සොරකම්
කරන බව දෙවියන්
දේවතා එළියෙන්
දෙවියන් නැති සඳ දෙවොල් කොහිද? එනයින් කවිල් හඬ ඇසෙන්නට හැටියක් නැත. සොබාදහමම මිස අන් දෙවියෙක් මෙදියත නැත. එකඟවන්නට හෝ අවසඟ වන්නට ඔබට ඇති සාධාරණ අයිතිය මම පිළිගනිමි. එහෙත් දෙවියන් උදෙසා පහන් දල්වන භක්ත්යාදරයේ හදවත් මේ විසල් ලෝකයේ අසංඛ්යාත්මකය. ඒ පහන් පිළිගන්නට සපැමිණෙන්නේ දෙවියන් නොව යක්ෂයන්ය. ඛේදවාචකය එතැනය. එය එසේ වූ ඇසිදිසි යථාර්ථයක දෙවියන් අහම්බකාරකයක්ම මිස අන් කවරක්ද?
► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර